ටී. එම්. වයන්ති සංජීවනි

මම ඉපදුනේ සහ හැදුනේ කොළඹ. මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ සහ මියුසියස් විද්‍යාලයේ. මම හැදුනේ වැඩුනේ වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් හා බාල සහෝදරයන් දෙදෙනෙක් එක්ක. මම විවාහ වුණේ කලවානේ ව්‍යාපාරිකයෙකු සමඟයි. ඒ 1996දි. එනිසා තමයි මම කලවානට ආවේ. මගේ පියාගෙ ගමත් කලවාන. මම සමාජ සේවය සඳහා යොමු වුණේ මගේ පියා නිසා. තාත්තාගේ උදව් බලාපොරොත්ත්ය්වෙන් කොළඹට පැමිණෙන කිසි අයෙක් උදව් නොකර ආපසු හරවා යැව්වේ නැහැ. ඒ අභාෂය අපට තිබුණා. ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ගැටළු, දුක් ගැනවිලි සහ ආර්ථික අපහසුතාවන්වලට උදව් කිරීමට මම නායකත්වය ගෙන කටයුතු කරා. ඒ විදියට තමයි මම දුප්පත් ජනතාවගේ සමාජ ආර්ථික ගැටළු සඳහා නිරාවරණය වුණේ.  

මගේ එක් සහෝදරයෙක් ප‍්‍රදේශීය සභා සඳහා දෙවතාවක් තරඟ කළා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්. මම ඔහුගේ ඡුන්ද ව්‍යාපාරයට සහයෝගය ලබාදුන්නා. කුඩා කාලයේ ඉඳලම මම මගේ පියා සමඟ මැතිවරණ ප‍්‍රථිපල විකාශය ගොඩක් උද්යෝගයෙන් නැරඹුවා. මම මුලින් දේශපාලනයට අවතීර්ණ වෙන්න හදනකොට තාත්තා ඒකට අකමැති වුණා. ඒ වගේම අපේ පක්ෂයේ අනෙකුත් පිරිමි සහ කාන්තා දේශපාලඥයන්ට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී මම සහයෝගය දක්වලා තියනවා. එමෙන්ම ඔවුන් සිය දේශපාලන පොරොන්දු රැුකිමින් කලවාන ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරනවාද යන්න පිළිබඳවත් මම අවධානයෙන් හිටියා. 2015 සිට 2018 කාලය තුළ අඩු ආදායම් ලාභී පවුල්වල ජනතාවගේ නිවාස ගැටළු, මාර්ග පිළිසකර කිරීමේ ගැටළු වගේ හදිසි ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් යොමු කරවීමට මට හැකියාව ලැබුණා. නොයෙකුත් දේශපාලන එදිරිවාදිකම්වලදී මගේ සහෝදරයාට මරණ තර්ජන එල්ල වූ අවස්ථාවලදී මම මැදිහත් වෙලා ඔහුව ආරක්ෂා කළා. මගේ ජීවිතාරක්ෂාව සඳහා සැඟවෙලා ඉන්න වුණු අවස්ථාද තිබුණා. එහිදී මම මානව හිමිකම් කොමිසමේ සහයෝගය පැතූ අතර, එම ගැටළු ක‍්‍රමයෙන් විසඳුණා.  

2018 ප‍්‍රාදේශිය සභා මැතිවරණයට තරඟ කිරීමට මට එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා හිමිවුණා. මැතිවරණ ව්‍යාපාර කාලයේදී විරුද්ධ පාර්ශිකයන් මගේ මල්ලිගේ ප‍්‍රශ්නය මතු කරලා මගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කළා වගේම මගේ අවුරුදු 11ක් වන පුතා සමඟ මැතිවරණ ව්‍යාපාරයේ සියළු කටයුතු සඳහා ගියත්, මගේ වාහනයේ ඔ-56 අවියක් රැුගෙන යන බවට චෝදනා කළා. මම ප‍්‍රධාන ආරාධිත අමුත්තිය හැටියට සහභාගී වුණ දමිල පෙර-පාසලක උත්සවයකට පැමිණුන විරුද්ධ පාර්ශික තරඟකරුවෙක් එම පිරිසට මා ගැන අප‍්‍රසාදය ඇතිවන ආකාරයට කතා කළා. නමුත් එම පිරිස හූ හඬ නංවමින් ඔහුගේ කතාව ප‍්‍රතික්ෂේප කළා. එය මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මම මුහුණ දුන් අමිහිරිතම අත්දැකීම වුණා. මගේ බාල සහෝදරයා, මගේ මාමගේ පුතා සහ ගමේ අය මට දේශපාලාය සඳහා උදව් කළත්, මගේ සැමියා එතරම් කැමත්තක් දැක්වුවේ නැහැ මොකද ඔහු විශ්වාස කළා මගේ පොඩි පුතා සමග මම වැඩි කාලයක් ගත කළ යුතුයි කියලා. කලවාන ප‍්‍රදේශයේ දුප්පත් හා අවධානය යොමු නොවූ අයගේ ප‍්‍රශ්න සඳහා අවධානය දිනා ගැනීමටත් මගේ මැතිවරණ කටයුතු සඳහා අවධානය දිනා ගැනීමටත් මම ෆේස්බුක් පිටුවක් භාවිතා කළා. මම තරුණ කාලයේ සිටම සමාජ කණ්ඩායම් සමඟ කටයුතු කර තිබූ නිසා ප‍්‍රසිද්ධියේ කතා කිරීමට බියක් හෝ පැකිලීමක් තිබුණේ නෑ. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හොඳින් ජයග‍්‍රහණය නොකළත්, තේ වතු ආශ‍්‍රිතව ජීවත් වන ජනතාවගේ බොහොමයක් මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු විසඳීමට මම කටයුතු කළ නිසා, එම දෙමළ ජනතාවගෙන් බහුතරය ඇතුළුව දෙවනුවට වැඩිම මනාප ලබා ගැනීමට මට හැකියාව ලැබුණා. 

තේරී පත්වීමට පෙර ප‍්‍රදේශීය සභා පද්ධතියේ කටයුතු සහ සභිකයෙකුගේ කාර්යයන් හා වගකීම් සම්බන්ධයෙන් මා හට තිබුණේ ඉතා සුළු දැනුමක් පමණයි. නමුත් SLILG (ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මගින් ඉතා හොඳ පුහුණු වැඩසටහන් මාලාවක් කරනවා. එයට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, පළාත් පාලන පනත, ප‍්‍රාදේශිය සභා සඳහා අදාළ අතුරු ව්‍යවස්ථා, සේවාවන් සහ තවත් දේ ඇතුළත්. OTI (One Text Initiative), Fredrick Neuman සහ තවත් ආයතන මගින් පැවැත්වූ පුහුණු වැඩසටහන් සඳහා මම සහභාගී වුණා. මේ සෑම පුහුණුවක්ම වැදගත් වී තිබෙනවා. ඒ වගේම මෙමගින් මට ලැබුණු ඉතාම වැදගත් අවස්තාව නම්, උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප‍්‍රදේශවල කාන්තා සභිකයන් මුණ ගැසීමටත්, ඔවුන්ගේ ප‍්‍රදේශයන්හි ඔවුන් මුහුණ දෙන විශේෂ ගැටළු පිළිබඳ අවබෝධ කර ගැනීමටත් හැකිවීමයි. අපට තවදුරටත් ව්‍යවස්ථාව සහ දේශපාලන පද්ධතිය පිළිබඳ කුසලතා පුහුණුව සහ දැනුම අවශ්‍ය වෙනවා.

මම කලවාන ප‍්‍රාදේශිය සභාවේ නිවාස කමිටුවේ ඉන්නවා. මුදල් කමිටුවේ බලය පිරිමි සභිකයන් විසින් අත්පත් කරගෙන සිටින නිසා කාන්තාවන්ට එහි ඉඩක් නැහැ. කලවාන ප‍්‍රදේශයේ දුප්පත් ජනතාව තමන්ගෙ එදිනෙදා ජීවත් වීමට අභියෝගයක් වන බොහෝ ගැටළුවලට මුහුණ දෙනවා. අපි මුහුණ දෙන ප‍්‍රධානම ගැටළුව නම්, විපක්ෂයේ සිටින විට මුදල් ප‍්‍රතිපාදන වෙන් කරවා ගැනීමට වන අපහසුවයි. කාන්තා සභිකයන්ට මෙම අපහසුව දෙගුණ වෙනවා තමන්ට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගැනීමේදී. 

පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය වැඩි වීම සමඟ ප‍්‍රාදේශිය සභා තුළ දූෂිත බව අවම වී තිබෙනවා. මම කිසි විටෙක කොමිස් අරගෙන නැහැ වගේම, අනෙකුත් කාන්තා සභිකයන්ද තමන් කරන සේවය වෙනුවෙන් අල්ලස් හෝ කොමිස් ලබාගන්නේ නැහැ. අපි දූෂණයට එරෙහිව හඬ නගනවා මෙන්ම කටයුතු කරනවා. එමෙන්ම පිරිමි සභිකයන් විසින් හඳුනා ගෙන නොතිබූ බොහෝ ගෘහස්ත ගැටළු සඳහා පිළියම් යෙදීම කාන්තා සභිකයන් විසින් සිදු කරන ලද ප‍්‍රධාන වෙනසක්. පිරිමි සභිකයන් තේරුම් නොගන්නා කාරණාවක් තමයි නොයෙකුත් ගැටළු එක් එක් ප‍්‍රජාවට වෙනස් වූ විශේෂ ආකාරවලට බලපාන බව. මගේ සහයෝගය අපේක්ෂා කරන මිනිසුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළත්, ඔවුන් සියළු දෙනාටම මම සමානව සලකනවා.

ප‍්‍රාදේශිය සභා ක‍්‍රමය තුළ පුරුෂාධිපත්‍ය අපි අත්විඳිනවා. නමුත් මම වාසනාවන්ත වුණා කාන්තාවක් වීම හේතුවෙන් කිසිදු ආකාරයක හිංසනයකට ලක් නොවන්නට. නමුත් අපේ යෝජනාවන් සඳහා අදාල සැලකිල්ලක් හෝ අගයක් ලැබෙන්නේ නැහැ. පාලන පක්ෂයේ පිරිමි සභිකයන් අපේ යෝජනාවන් නොසලකා හරිනවා. සමහර වෙලාවට සභාපතිතුමා හෝ අනෙකුත් පිරිමි සභිකයන් විසින් මගේ අදහස් ඔවුන්ගේ අදහස් ලෙස සාකච්ඡුාවට ගන්නා අවස්ථා තිබුණා. නමුත් මට අවශ්‍ය වන්නේ මහජන මුදල් නියමාකාරයෙන් සහ සාධාරණ ලෙස භාවිතා කිරීමටයි. නොයෙක් අවස්ථාවන්හිදී, මට ප‍්‍රාදේශිය සභා මට්ටමෙන් විසඳීමට නොහැකි ගැටළු ඉදිරිපත් කරන පවුල් සඳහා උපකාර කිරීමට මම මගේ මිතුරන්ගේ සහය ලබාගන්නවා. මගේ කොට්ඨාශයේ ප‍්‍රතිවාදී මන්ත‍්‍රීවරයා අදටත් මට සභාවේදී අපහාස කරනවා. මම ඒ සම්බන්ධයෙන් නඩුවක්ද දමා තිබෙන්නේ. 

මම කැමතියි මේ රට යුරෝපය වගේ මට්ටමකට එනවට. මේ වෙනකොට මම ගොඩක් කලකිරීමෙන් ඉන්නේ රටේ පාලනය ගැන. මගේ අපේක්ෂාවක් තියනවා දේශපාලනයෙන් ඉදිරියට යන්න සහ කවදහරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්න. මට ලොකු විශ්වාසයක් තිබෙනවා මට නාමයෝජනා ලැබෙයි කියලා. අපිට තවත් උගත් කාන්තාවන් අවශ්‍යයයි පාර්ලිමේන්තුව තුළ. ඒ වගේම ඉදිරි පළාත් සභා සහ මහ මැතිවරණය සඳහා තරඟ කිරිමට මගේ උවමනාව නිසා දේශපාලඥයෙක් ලෙස මගේ දැනුම වර්ධනය කර ගැනීමට මගේ අවශ්‍යතාවය තියනවා. මම මේ වන විට මහජන සම්බන්ධතා සහ දේශපාලන විද්‍යාව සම්බන්ධ ඩිප්ලෝමාවක් හදාරනවා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ.

මට සැකයක් තියනවා පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන් සඳහා කෝටාවක් නොතිබුණොත්, ඔවුන්ට ප‍්‍රධාන ගැටළුවලට මුහුණ දීමට සිදු වෙයි කියලා. සෑම මට්ටමකම කාන්තා නියෝජනය සඳහා කෝටාවක් තිබීම අවශ්‍යයයි. මගේ පක්ෂය තුළ ඒ සඳහා මම කටයුතු කරනවා. පක්ෂ සංවිධායකයන් සහ නායකයන් කාන්තා අපේක්ෂකයන්ට වඩා පිරිමි අපේක්ෂකයන්ට වැඩි සහයක් දක්වනවා. මට්ටම් තුනේම සුදුසුකම් ලත් කාන්තාවන් පාලනය සඳහා අවතීර්ණ වීම සිදු විය යුතුයි. දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ට මට දෙන්න තියන උපදෙස තමයි, පක්ෂයක් අවශ්‍ය වෙන්නේ තරඟ කිරීමට පමණයි. නමුත් වැඩ කරන විට පක්ෂ භේද අවශ්‍ය වන්නේ නෑ. මොනතරම් බාධක ආවත් බය වෙන්න එපා. ඒ දේවල්වලට මුහුණ දී, තවත් ශක්තිමත් වීම තමයි සිදු විය යුත්තේ. මගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය සමඟ බොහෝ අපහාස සහ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වුණත්, එම අසීරු අවස්ථාවලට මුහුණ දීමෙන් මම තවත් ශක්තිමත් වුණා. දේශපාලනය තුළින් මම ලබපු ඉහළම ප‍්‍රතිලාබය ආත්ම ශක්තියයි.

One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.

Leave a Reply