
කුඩා කාලයේ සහ තරුණ කාලයේත් මම ජීවත් වුණේ මගේ පියා විසින් පනවන ලද රාමුවක් තුළ. විවාහයෙන් පස්සෙ මගේ සැමියත් මගේ පියා විදියටම මාව සීමා කළා. මට කිසි විටක නිදහසේ තනි තීරණයක් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මම ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණීමෙන් පසුව තමයි මට ස්වාධීන කාන්තාවක් බවට පත් වීමට හැකි වුණේ.
මම උසස් පෙළ සඳහා වාණිජ විශයන් හදාරා ඉන් පසුව කළමනාකරණ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඉන් පසු මගේ ස්වාමියා විදේශ රැුකියාවකට පිටත් වීමෙන් පසු, මම වරලත් ගණකාධිකරනය හැදෑරුවා. නමුත් මගේ සැමියා කැමති වුණේ නෑ මම රැුකියාවක නිරත වීම ගැන. දැන් අපට වයස අවුරුදු අටක සහ හතක දියණියන් දෙදෙනෙක් සිටිනවා. මගේ ජීවිතය මවක් හැටියට සහ මම තරුණ කාලයේ ආරම්භ කල සමාජ සේවා කටයුතු සඳහා සීමා වුණා. මගේ දෙමව්පියන්ට නගරයේ ව්‍යාපාරයක් තිබුනා. පාසල් ගමන අවසන් වූ පසු මම දිනපතා එහි යාමට පුරුදු වුණා. වැඩි කලක් ගත වීමට පෙර නගරයේ සුළු වෙළඳ සංගමයේ ලේකම් තනතුරට මා තේරී පත් වුණා. රාගම නගරයේ එනම් මගේ උපන් ගමේ වෙළඳ ප‍්‍රජාව මා හොඳින් අඳුනාගත්තා. මම ගමේ කාන්තා සමිතියටත් සම්බන්ධ වී එහි සභාපති ධූරය දැරුවා. දුප්පත් කාන්තාවන්ට උදව් කිරීමට අප නොයෙකුත් කටයුතු සංවිධානය කළා. මෙමගින් දුප්පත් මිනිසුන් සහ එම පවුල් මුහුණ දෙන ඉතා සංකීර්ණ ගැටළු සහ අභියෝග මම හඳුනාගත්තා.
මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ සංවිධායකවරයෙක්. නමුත් ලංකාවේ පක්ෂ දේශපාලනය තුළ තිබෙන ප‍්‍රචන්ඩකාරී ස්වභාවය නිසා අපි කැමති වුණේ නැහැ ඔහු දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වීම ගැන. අපේ විරුද්ධත්වය ප‍්‍රකාශ කර තර්ක කිරීම හරුණු කොට අපිට වෙන කිසිවක් කළ හැකි වුණේ නැහැ. කාන්තා නියෝජනය සඳහා කෝටා ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු ශ්‍රීලනිප ජා-ඇල ආසන සංවිධායක හිටපු අමාත්‍ය ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා මගේ පියා හරහා මට කතා කොට ආරාධනා කළා 2018 මැතිවරණය සඳහා තරඟ කරන ලෙස. මම මුලින් මගේ පියාට කිවුවා මම ඒ් පිළිබඳව සලකා බලන්නම් කියා. පසුව මම එයට එකඟ වී 2018 ප‍්‍රාදේශිය සභා මැතිවරණයට සති හයකින් ප‍්‍රචරණ කටයුතු සිදු කළා.
ගමේ දේශපාලනයට මම අළුත් කෙනෙක් වුණා. ප‍්‍රාදේශිය වශයෙනුත් ජාතික වශයෙනුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල බලයක් තිබුණු නිසා තියුණු තරඟයක් තිබුණා. මම මගේ කොට්ඨාශය, එනම් දඹුව ජයග‍්‍රහණය කළේ නෑ. නමුත් පරාජිත අපේක්ෂකයන් අතරින් ඉහළ ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීම නිසා මට ජා ඇල ප‍්‍රාදේශිය සභාවේමන්ත‍්‍රී ධූරයක් හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වුණා. මම තරඟ කරන විට සමහර අය අපට අහසින් වැටුණු තරඟකරුවන් ලෙිස සැලකුවත්, පසුගිය අවුරුදු දෙක තුල සිදු කළ සේවය නිසා ඒ මිනිසුන්ම දැන් අපව අගය කරනවා. ඉතා පොඩි මුදල් ප‍්‍රමාණයකින් මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාම අපහසුයි. නමුත් මගේ පියා සහ සැමියා මට උපකාර කළා. මගේ සැමියා දමිළ පුද්ගලයෙක්. සමහර අය එය මගේ චරිතයට හානි කිරීමටත් යොදාගත්තා. මම සභිකයෙක් වූ පසුවත් මගේ ස්වාමියා මාව දිරිමත් කරමින්, මගේ. කටයුතු සඳහා සහයෝගය ලබා දෙනවා.
මම විශ්වාස කරනවා අපගේ භූමිකාව කෙරෙහි පිරිමි සහ ගැහැනු සභිකයන්ගේ ආකල්ප එකිනෙකට වෙනස් බව. කාන්තා සභිකයන් බොහෝ විට ඔවුන්ගේ ඡුන්ද කොට්ඨාශය වෙනුවෙන් සහ එම මිනිසුන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළත් පිරිමි සභිකයන් බොහෝ විට තමන්ගේ වාසියට කටයුතු කිරීම සිදු වනවා.
නවක සභිකයෙකු ලෙස, මට පළාත් පාලන පනත සහ සභිකයෙකුගේ වගකීම සම්බන්ධයෙන් ඉතා සුළු දැනුමක් තිබුණේ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින්ප වත්වනු ලබන දේශපාලනයේදී කාන්තාවන් බලගැන්වීම පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලාව (2019/2020) සඳහා සහභාගී වීමට අවස්ථාව මා හට හිමිවුණා. එයින් මගේ දැනුම වර්ධනය කරගැනීමට හැකි වුණා. ඊට අමතරව විවිධ ආයතන මගින් පවත්වනු ලැබූ කුඩා වැඩමුළු සඳහා සහභාගි වී මගේ දැනුම වර්ධනය කරගත්තා. මේ වනවිට මම පළාත් පාලනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් SLILG ආයතනයේ හදාරමින් සිටිනවා. එමගින් මට පළාත් පාලන පනත, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, පළාත් පාලනය සම්බන්ධ. වෙනත් නීති රීති ආදිය පිළිබඳව හොඳ දැනුමක් හිමි වුණා. One Text Initiative මගින් සංවිධානය කල පුහුණුව හරහා මගේ ප‍්‍රසිද්ධියේ කතා කිරීමේ හා නව මාධ්‍ය හා තාක්ෂණය සම්බන්ධ දැනුම වර්ධනය කර ගැනීමට හැකි වුණා. මේ ආකාරයේ නොයෙකුත් පුහුණුවීම් මගින් සභිකයෙකු ලෙස වර්ධනය වීමටත් මගේ ප‍්‍රදේශයේ මිනිසුන්ට කාර්යක්ෂම සේවයක් කිරීමටත් මට හැකි වුණා.
මම මගේ කොට්ඨාශය තුළ කාන්තා සමිතියක් පිහිටුවා, මේ වන විටත් ශ්‍රීලනිප පළාත් සභා සාමාජිකයන්ගෙන් ලද ප‍්‍රතිපාදනවලින් ඔවුන්ට කුකුළු හා එළු ගොවිපළ ආදී ආදායම් මාර්ග සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. දුප්පත් පවුල් කිහිපයකට අඩක් නිමකර ඇති නිවාස සාදා ගැනීමට නිවාස ආධාර ලබා දී ඒවා සාදා ගැනීමට උදව් වීමට මා හට හැකිවී තිබේ. පළාත් පාලන මට්ටමේ සභිකයෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔහු පිළිසකර කළ හෝ සංවර්ධනය කළ මාර්ග ගණන අනුවයි. දේශපාලනයෙත් එය එසේමයි. මෙනිසා මාර්ගයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය වූ විටක වුවත් විපක්ෂයේ සභිකයන්ගේ එම යෝජනා සම්මත වන්නේ නැහැ. 2018දී ගම්පෙරළිය හරහා අපගේ ජාඇල ආසනය සඳහා සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරිමක් සිදු වුවත්, පැවති දේශපාලන වාතාවරණය මත එම මුදල්වලින් සංවර්ධන කටයුතු සිදු කිරීමට අපහට නොහැකි වීම නිසා මා ලොකු අසීරුතාවයකට පත් වුණා. ඉන් පසු මා හට මාර්ගයන් දෙකක සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් පළාත් සභා මහ අමාත්‍යතුමාගෙන් ප‍්‍රතිපාදන වෙන් කරවා ගැනීමට හැකි වුණා. අප සේවය සැපයීමේදී එල්ල වන ප‍්‍රධානම බාධාවක් තමයි ආණ්ඩු පක්ෂයේ සභාපති සහ අනෙකුත් සභිකයන් තුළ වන පක්ෂග‍්‍රාහී හැසිරීම. ශ්‍රීලනිපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමීපව කටයුතු කළත් ඔවුන් අප දකින්නේ විපක්ෂයේ කොටසක් ලෙසටයි. 2020 මහ මැතිවරණයෙන් පසුව මෙම තත්වය මේ වනවිට යම්කිසි දුරකට අඩුවී ඇති බව හැෙඟ්.
ජා ඇල කාන්තා බල මණ්ඩලයේ සභාපති හැටියට මම කටයුතු කරනවා. ජා-ඇල ආසනයේ කොට්ඨාස 35ටම අදාලව අපි කාන්තා සමිති පිහිටුවා තිබෙනවා. මෙය අප ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ ප‍්‍රාදේශිය සභාව හා නගර සභාව මගින් සිදු කළ යුතු සේවා සහ අනෙකුත් ගැටළු සඳහා විසඳුම් ආදිය සම්බන්ධයෙන් මගපෙන්වන හොඳ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකියි. ජා ඇල ප‍්‍රාදේශිය සභාව තුළ කාන්තාවන් මුහුණ දෙන ප‍්‍රධානතම ගැටළුවක් වන්නේ විරැුකියාවයි. මෙනිසා කාන්තාවන්ට ආදායම් මාර්ග නිර්මාණය කර දෙමින් ඔවුන්ගේ හැකියාවන්ගෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට අවස්ථා සැලසීමට මම උත්සහ කරනවා. මම ඔවුන්ව විදාතා ආයතනය හා සම්බන්ධ කරවමින් ඔවුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා සහය වෙනවා. ඔවුන් කැමති ආකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ට දැනුම ලබා දී තිබෙනවා. හිටපු පළාත් සභා මන්ත‍්‍රීතුමන්ගේ පළාත් සභා ප‍්‍රතිපාදන වෙන්කර දීම තුළින්ද මා හට අප ප‍්‍රදේශයේ නොමිලේ ස්වයං රැුකියා පාඨමාලා පැවත්වීමට හැකි විය. මම මේ වන විට ඔවුන්ගේ එම නිෂ්පාදන සඳහා අපගේ නගරය තුල වෙළඳපොලක් සොයමින් සිටින්නේ.
මම බොහෝ විට තාන්ත‍්‍රණය මගින් තමයි අනෙකුත් සභිකයන් සමග ගනුදෙනු කරන්නේ. මගේ මූලික අරමුණක් වන්නේ, අපේ ප‍්‍රදේශය තුළ මට සභිකයෙකු වීමට අවස්ථාව සලසා දුන් ශ්‍රීලනිපය ශක්තිමත්ව හා ක‍්‍රියාකාරීව පවත්වාගෙන යාම.
කෝටා ක‍්‍රමය මගින් පළාත් පාලන තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වූ විට අපට ගැකියාව ලෙබෙනවා අනෙකුත් කාන්තා නායිකාවන්ද දේශපාලනිකව ක‍්‍රියාකාරී කරවීමට. අප ඔවුන්ටත් සහය විය යුතුයි. අපට කෝටා ක‍්‍රමයක් අවශ්‍යයි. පිරිමි සභිකයන් අපගේ යෝජනා සම්මත නොකරනවා මෙන්ම අපේ රාජකාරි නිසියාකාරව සිදු කිරීමට ඉඩ දෙන්නේ නැහැ. පුහුණුවීම් හරහා අපි අපිවම ශක්තිමත් කර ගත යුතුයි.
කාන්තා සභිකයන් නිසි ලෙස පද්ධතිය හා නීති රීති අනුගමනය කරනවා. සමහර අත්දැකිම් බහුල කාන්තා සභිකයන් ඔවුන්ගේ රාජකාරී කාර්යක්ෂමව සිදු කරන්නෙ නැහැ. නමුත් නවක සභිකයන් ඔවුන්ගේ රාජකාරි හොඳින් මහන්සි වී සිදු කරනවා. පිරිමි සභිකයන්ගේ යෝජනා නීති පද්ධතියට අනුකූලද යන්න අපි ප‍්‍රශ්න කරනවා. මිනිසුන් පවා පිරිමි සභිකයන්ගේ හා කාන්තා සභිකයන්ගේ සේවාවේ වෙනස හොඳින් හඳුනාගෙන තිබෙනවා. මිනිසුන් අගය කරනවා වංචාව හා දූෂණය, එමෙන්ම මහජන සම්පත් අවභාවිත කිරීමට එරෙහිව මා දරන උත්සහය. මට විශ්වාසයි මගේ කොට්ඨාශයේ මිනිසුන් මේ වන විට ඉතාම කැමතියි තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට.
බිම් මට්ටමේ කාන්තා නායිකාවන්ගේ දැනුම සහ කුසලතා සංවර්ධනය මගින් ඔවුන් නගා සිටුවීමට අප කටයුතු කළ යුතුයි. කාන්තා නායිකාවන් පූර්ණ කාලීන දේශපාලඥයින් බවට පත් කිරිමට අප ඔවුන්ව සූදානම් කළ යුතුයි. එමෙන්ම කාන්තා නායිකාවන් කෙරෙහි මිනිසුන්ගේ ආකල්පද අප වෙනස් කළ යුතුයි. සමහර නායකයන් මට ප‍්‍රකාශ කර තිබෙනවා, මම නිවසට වී මගේ දරුවන් බලාගෙන සිටිය යුතුයි කියා. මට මුල් කාලයේදී ලැබුණු පුහුණුවීම් අනෙකුත් කාන්තා නායිකාවන්ටද ලබා දිය යුතුයි. අපෙන් පසු දෙවන ස්ථරයේ කාන්තා නායිකාවන් මෙම තනතුරු සඳහා සූදානම් කිරීමට හොඳම ක‍්‍රමය එය වෙනවා. අපේ සභාවේ කාන්තාවන් අතර හොඳ එකමුතුවක් තිබෙනවා. නමුත් ඔවුන්ගේ විශ්වාසය අඩුකම නිසා සභාවාරවලදී කතා කිරීමෙන් ඔවුන් වළකිනවා.
අපේ පක්ෂය තුළ පළාත් සභා මැතිවරණ සඳහාත් 25% කෝටාව අප ඉල්ලා තිබෙනවා. නමුත් කිසිදු අත්දැකිමකින් තොර දේශපාලඥයින්ගේ මව්වරු, බිරින්දෑවරු හෝ දියණියන් වෙනුවට, ප‍්‍රජාව වෙනුවෙන් වසර ගණනාවක් කැපවූ කාන්තාවන් ඒ සඳහා උනන්දු කළ යුතුයි. පළාත් සභා සඳහා තරඟ කිරීමට මට තවමත් අත්දැකීම් මදි. සූදානමකින් තොරව තරඟ වදිනවාට වඩා, මගේ හැකියා සමගින් ඉහළින්ම ජය ගැනීමටයි මට අවශ්‍ය. මට හීනයක් තිබෙනවා කෙදිනක හෝ පාර්ලිමේන්තුවට තේරී පත් වීමට. නමුත් ඒ හීනයට ළඟ වීමට මට හදිසියක් නැහැ
(මෙය One Text Initiative හි නිෂ්පාදනයක් වන අතර OTI මෙම කෙටි සහ සංස්කරණය කරන ලද පිටපත සඳහා වගකීම දරයි)



